by - 11:29 AM

ඉදල්ගස්හින්න සංචාරය...  



                                     ලංකාවේ ලස්සනම දුම්රිය ස්ථානය....දන්නවද කොහෙද කියලා...ඔව් ඒ ඉදල්ගස්හින්න තමයි. කොළඹ කොටුවෙන් බදුල්ල බලා යන නයිට් මේල් ටේ‍්‍රන් එකේ ඉදල්ගස්හින්න  බලා ගමන ආරම්භ කරපු අපිට උදේ 5.30 විතර වෙනකොට ඉදල්ගස් හින්න දුම්රිය ස්ථානයට එන්න හැකි වුණා.හැබැයි අපේ කට්ටියගේ පරක්කුවත් එක්ක උදෑසන හිරු උදාව කදුමුදුනක සිට දැකබලා ගැනීමේ හැකියාව අතපසු වීම කනගාටුදායක කරුනක්අපි මේ යන්නේ ඉදල්ගස්හින්න කන්ද තරණය කරන්න .ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයෙන් බැහැලා  පැයකට නොඅඩු කාලයකින් ඉදල්ගස්හින්න කන්ද තරනය කරන්න පුලුවන්



දුම්රිය ස්ථානයද දැඩි සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථානයක් .මුහුදු මට්ටමේ සිට ඉතා ඉහල උන්නතාංශයක මෙම දුම්රිය ස්ථානය පිහිටා තිබේ.ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ නමුනුකුල කදුපන්තීන්‍ට අතරමැදිව ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය පවතී.ඒ මුහුදු මට්ටමේ සිට මීටර 1615ක උන්නතාංශයකින් .සිංහල දමිල මිශ්‍ර ජනතාවක් ඉදල්ගස්හින්නේ වාසය කරයි.

නිතරම මීදුමෙන් වැසීගත් පරිසරයේ ඇස ගැටෙන හැම මානයකම තේ වතු නැත්නම් පයිනස් යායන්‍ ය.දුම්රිය ස්ථානයෙන් බැස උප තැපැල් කාර්‍යාලය අසලින් දිවෙන කොන්ක්‍රීට් මාර්ගයේ කුඩා දුරක් ගියවිට වම්පසින් තේ වතු අතරින් කන්ද වෙත දිවෙන අඩිපාර වේ.මීදුම අතරින් කිටිකිටියේ වෙවුලමින් කදු මුදුනට ලංවීම කිසිසේත්ම වෙහෙසකර නම් වෙන්නේ නෑ .බොහෝ විට කාන්තා පිරිමි භේදයකින් තොරව කදුමුදුන රාත්‍රි කදවුරු බැදීම සදහාද යොදා ගන්නේ අපහසුවකින් තොරව ලගාවිය හැකි බැවිනි.ඉතා කුඩා කාලයකින් ලගා වී මනා දර්ශන පථයක් දැකගත හැකිවීම ඉදල්ගස්හින්න කන්දේ සුවිශේෂීත්වයයි.බොහෝමයක් දේශීය සංචාරකයන් රේල් හයිකින් සදහා ඉදල්ගස්හින්න ගමනාන්තය හෝ ගමනාරම්භය ලෙස යොදාගන්නේද ඉදල්ගස්හින්න කදුමුදුනේ කදවුරු ලෑමේ බලාපොරොත්තුවෙනි.දුම්රිය දෙපාර්තමේන්තුවේ අවසරය මත රේල් හයිකින් සිදුකල යුතුවේ.ඉදල්ගස්හින්නේ තේ වගාව 1984 සිට ක්‍රමානුකූලව ක්‍රියාත්මක වන්නකි.


උදෑසන 8 පසුවීමත් සමග අසල කඩයකින් සරල උදෑසන ආහාරයක් ගත් අපි, තේ වතු අතරින් ගමන ආරම්භ කලෙමු.පැය කාලක් පමන පහසු ගමනකින් අනතුරුව පයිනස් යායට පිවිසීමට අපට හැකිවිනි.හෝර්ටන් තැන්න ආශ්‍රිතව දැකිය හැකි මහරත්මල් ශාක,නෙලූ ශාක ගමන් මග අතරින් පතර දැකගත හැකිවිය.පයිනස් යායන් අතර ගමන් කිරීම නම් සීරුවට කල යුත්තකි.වේලුනු පත්‍ර බිමට වැටීම නිසා ආනතිය අධික මාර්ගය ලිස්සන සුලු වීම ඊට හේතුවයි.නිතර නිතර මිනිස් පහස ලැබීම හේතුවෙන් විවිධ අතට කුඩා කුඩා අඩිපාරවල් නිර්මාණය වී තිබුනද මුදුන ඉලක්ක කරගෙන යාම මග නොවැරදීමට හේතු වේ.



විනාඩි 45 ක පමන ගමනකින් අනතුරුව මීදුමෙන් වැසුනු මුදුනට ලගාවීමට අප සමත්වීමු.සුලග සැර වීම නිසා ඉතා ඉක්මනින්ම දර්ශන පථය පැහැදිලි වන්නට විය.
තෙරක් නොපෙනෙන අනන්තයක තනිවීමට නම් අනිවාර්යයෙන් පැමිනිය යුතු ස්ථානයක් ලෙස ඉදල්ගස්හින්න හැදින්විය හැක.වලාවන් යට සැගවුනු ලෝකයක විචිත්‍රවත් සිතුවමක් ගුවනේ සිට නැරඹීමට අප වාසනාවන්ත වූයෙමු.වලාකුළු හා මීදුම වෙන්කර ගත නොහැකි තරම් විටින් විට මීදුමෙන් පරිසරය වෙලා ගනී.



කදුමුදුනේ හිරු උදාව නම් වඩා විචිත්‍රවත් වනවා නොඅනුමානය.එය ඡායාරූපගත කරගන්නට අපට නොහැකි විය. රාත්‍රි කදවුරු බැදීමකට නැවත දිනයක පැමිනෙන බලාපොරොත්තුවෙන් හෝරා කිහිපයේ මතක ජායාරූප වලට ඉතිරි කර අපි නැවත ගමන් ආරම්භ කලේ නුවර සිට බදුල්ල බලා යන මීලග දුම්රියේ නැවතත් අපට යෑමට නියමිත වූ නිසාවෙනි. 

ඉතිං ඒ මතකයන් වලින් මගේ කැමරා කාචයේ සදහන් වුන ඉදල්ගස්හින්න සුන්දර ඡායාරූප  එකතුව මේ  Link එකෙන් බලන්න පුලුවන්.



JClicks Travel Diaries 2019- Idalgashinna Photo album
ඉදල්ගස්හින්න - Idalgashinna JClicks Travel Diaries 2019


ඒ වගේම ඉදල්ගස්හින්න Travel Vlog එක මේ ලින්ක් එකෙන් 

JClicks Travel Diaries 02 | Idalgashinna | ඉදල්ගස්හින්න


  (JClicks Travel Diaries)

You May Also Like

0 comments